සරත් ෆොන්සේකාට ලබන මාසයේ නිදහස ලැබෙයිද?

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනපති සමාව සහිතව 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස හිමි වන බව රජයේ ඉහල පෙළේ ආරංචි මාර්ග අනුව කියවෙන බව මේ දිනවල අසන්නට ලැබෙනවා. 

මීට පෙර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් ෆොන්සේකා මහතාට ජනපති සමාව දෙන ලෙස ඉල්ලා තිබුණ නමුත් ඒ කිසිවකට ජනාධිපතිතුමා ඇහුන්කන්දුන් බවක් පෙනෙන්නට තිබුනේ නෑ.

ජනාධිපතිතුමාට අවශ්‍යය වූයේ සරත්ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කෙනෙකු ලවා සමාව ඉල්ලනු දැකීමටය. නමුත් සරත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු ජනාධිපතිතුමා වෙත ගොස් සමාව ඉල්ලිමට කැමැත්තක් දැක්වූයේ නෑ.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් පසුගියදා පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත්ය. එහෙත් පැවැති සාකච්ජා මොනවාදැයි ඔහු හෙළිකළ කළේ නැත. ඒ අනුව නිදහස ලැබූවද අහිමිවූ වරප්‍රසාද ලැබෙනේද, විදේශ ගතවීමේ නිදහස හෝ දේශපාලනය කිරීමේ අයිතිය ලැබෙන්නේද, කවර කොන්දේසි වලට යටත්ව නිදහස ලැබෙන්නේද යන්න දැනගන්නට ලැබෙන්නේ නැත.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්‌සර හිමියෝ පසුගියදා පැවසුවේ අනෝමා ෆොන්සේකා මැතිනිය මේ බෝධීන් වහන්සේ අබියසට පැමිණ සරත් ෆොන්සේකා මහතාව බේරා දෙන්නැයි ඉල්ලීමක්‌ කලහොත් සටනක්‌ කර හෝ නොකර ෆොන්සේකා මහතාව බේරා ගන්නා බවය. උන්වහන්සේ එසේ පැවසුවේ පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එජාපයේ නායකයන්, සාමාජිකයන් ඇතුළු පක්‍ෂයට ඇති සියලු අපල උපද්‍රව දුරු කිරීම අරමුණින් පසුගියදා පැවැති බෝධි පූජා පිංකම අවසානයේදීය.

නිදහස්වීමෙන් පසු සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට
මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ උපන්දිනයට සුබ පැතීම සඳහා හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේ තමන් එක්සත් වූ එක්සත් ජාතික පක්‍ෂයක් සමග අනාගතයේදී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට, වැඩ කිරීමට කැමැති බව සරත් ෆොන්සේකා තමාට පැවැසූ බව කරූ ජයසූරිය මහතා පැවසුවා.

ධවල මන්ධිරයට යොමුකරන අන්තර්ජාල පෙත්සම
සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් අප්සරා ෆොන්සේකා මෙනවිය ධවල මන්ධිරයට ඉදිරිපත්කල අන්තර්ජාල පෙත්සමට මේවනවිට අත්සන් 23,050ක් පමණ එකතුවී තිබෙන අතර අත්සන් 25,000 ඉලක්කය සපුරාගැනීම සඳහා අඩුව ඇත්තේ දින 3කදී අත්සන් 1,950ක් එකතුකර ගැනීම පමණයි. එවැනි පෙත්සමක් ඉදිරිපත්වූ විට ඒ පිළිබඳ ඔබාමා පරිපාලනය කටයුතු කරන බවයි ධවල මන්ධීර වෙබ් අඩවියේ පැවසෙන්නේ. මේ අතර එක්සත් ජාතින්ගේ සංගමයට ඉදීපත්කිරීම සඳහා සඳහා විපක්ෂ නායක වරයා විසින් යෝජිත අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබුණා.

මේ නිසා දැඩි ජාත්‍යන්තර බලපෑමක් ඉල්ලවීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවදී නිදහස් කරනු වෙනුවට ඊට පෙර නිදහස් කර ජනතාවගෙන් ලකුණු දමාගැනීමේ පිළිවෙතක් රජය අනුගමනය කරන බවයි බොහෝ දෙනා පවසන්නේ.

සරත් ෆොන්සේකාට අහිමිවූ දෑ
හයිකෝප් සමාගමෙන් බැටරිකෑලි ඇතුළු උපකරණ කීපයක් යුද හමුදාවේ පාවිච්චිය සඳහා මිලට ගත් නඩුව හා සුදුකොඩි නඩුව සරත් ෆොන්සේකා මහතාට වසර 40ක සේවාකාලය නිසා හිමිවිය යුතු තම විශාම වැටුප අහිමි කල අතර තම ජෙනරාල් නාමයද අහිමි විය. පළමු නඩුවෙන් මාස 30ක සිර දඬුවමක්ද දෙවන නඩුවෙන් වසර 3ක සිර දඬුවමක්ද හිමිවූ අතර එම නිසා තම මංත්‍රී අසුනද අහිමි විය. මීට අමතරව යුද්ධය ජයග්‍රහණය නිසා රජයෙන් ලබාදුන් ඉඩමද අහිමි විය.

කෙසේ වෙතත් අධිකරණය මඟින් වරදකරුවකු බවට පත්කළ බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු විශේෂ සමාවක් ලබාගන්නේ කෙසේද? ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සලසා ඇති ප්‍රතිපාදන මොනවාද? විදේශීය බලපෑමක් මඟින් මෙරට සිරගත වූවකුට සමාව ගැනීමට හැකියාවක් තිබේද? යන කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයස් ශ්‍රී මහතා පවසන්නේ මෙවැන්නක්.

බන්ධනාගාරගතව සිටින සිරකරුවෙක් විශේෂ සමාවක් යටතේ නිදහස ලබා ගැනීමට මෙරට නීති පද්ධතිය තුළ කුමන ආකාරයේ ප්‍රතිපාදන තිබේද?
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිස් හතරවෙනි වගන්තියේ ප්‍රතිපාදන සකස් කර තිබෙනවා බන්ධනාගාරගත වු සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව. ජනාධිපතිවරයාට නීතියේ ප්‍රතිපාදන තිබෙනවා අධිකරණය විසින් වරදකරුවකු වූවෙකුට සමාව ලබාදීමට. ජනපති වුවත් මෙවැනි තීන්දුවක් ගැනීමේදී සියලු පාර්ශ්ව පිළිබඳව සලකා බලා තමයි තීන්දු තීරණ ගන්න ඕනෑ. ජනාධිපතිවරයා වූවත් සාධාරණ සහ නීතිගරුක සමාජයක පුරවැසියකු විදිහට තමයි තමන්ගේ තීන්දු තීරණ ගත යුත්තේ.

මෙවැනි තීරණයක් ගැනීමේදී දේශපාලන බැඳීම් පුද්ගලික බැඳීම් හෝ එවැනි දේවල් නොසලකා තමයි කටයුතු කළ යුත්තේ. නීතිගරුක සමාජයක රුව ගුණ ආරක්ෂා කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. අවසාන ලෙස කිව හැක්කේ අධිකරණයකින් වරදකරුවකු වු පුද්ගලයකුට සමාව ලබා ගැනීමට පුළුවන් එකම මාර්ගය ජනාධිපති සමාව යටතේ සමාව ලබා ගැනීම පමණයි.

බන්ධනාගාරගත වු පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාගත හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?
මේ සමාව ලබාදීම කළ හැක්කේ ජනාධිපති ධුරය දරන්නාට පමණයි. ඒ සඳහා එම ධුරය දරන්නාට පුර්ණ බලය තිබෙනවා අධිකරණය මඟින් වරදකරුවකු වූවෙකුට පුර්ණ සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබාදීමට. එය තමයි මේ ගැටලුවේ නීතිමය තත්ත්වය හා නීතිමය පසුබිම.

ජනාධිපති සමාව ලබා ගැනීමට සිරකරු විසින් ඉල්ලීමක් කළ යුතුද?
ඉල්ලීමක් කළ යුතු බවට නියමයක් නැහැ. ඒත් සාමාන්‍ය සමාජ සම්ප්‍රදාය බවට පත්වෙලා තිබෙන්නේ කිසියම් දෙයක් ලබා ගැනීමට නම් ඒ පිළිබඳ ඉල්ලීමක් සිදුකිරීමයි. එවැනි ඉල්ලීමක් නොකර සිරකරුවකුට නිදහස ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුනොවන දෙයක්. එය නීතියක් නොවුණත් සම්ප්‍රදාය එයයි. රාජ්‍ය නායකයාට ගරු කිරීමක් වශයෙනුයි මෙවැනි ඉල්ලීමක් කළ යුත්තේ. ගරු කිරීමක් වශයෙන් සහ එයට ලජ්ජාවීමට හේතුවක් නැහැ.

අධිකරණය මඟින් වරදකරුවකු වූවෙකුට නිදහස් වීමට වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් නැද්ද? ඇතැම් පාර්ශ්ව උද්ඝෝෂණ අරගල මඟින් අධිකරණය වරදකරුවන් කළ අය මුදාගැනීමට උත්සාහ කරනවා. මේ උත්සාහය කෙතරම් දුරට සාර්ථකද?
උද්ඝෝෂණ කර හෝ විකල්ප ක්‍රියාමාර්ගවලට එළඹිලා වැඩක් නැහැ. සිරකරුවකු මුදාගැනීම සඳහා සිදුකළ යුතු නෛතික හා ඉටුකළ යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. එයින් පිට ක්‍රියාමාර්ග ගත්තා කියා විසැඳුමක් ලබා ගැනීමට පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුද්ධිමත්ව ක්‍රියාමාර්ගවලට එළඹීම තමයි සිදුකළ යුත්තේ. මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹිලා සිටින්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වය විසිනුයි. ඔවුන් උත්සහ කරන්නේ නෛතිකව ඇති ක්‍රියාමාර්ගයකට නොගිහින් මේ විදිහේ පටු හා සරළ ක්‍රියාමාර්ග මඟින් ඔවුන්ගේ අරමුණු සාර්ථක කර ගැනීමයි.

මේ ගැටලුවේදී මතුවන තවත් පැතිකඩක් වන්නේ සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතාව නිදහස් කර ගැනීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමටත් ඔවුන්ගේ මැදිහත්වීම් ඇතිකර ගැනීමටත් උත්සාහ කිරීමයි. මේ උපක්‍රමය කෙතරම් දුරට සාර්ථක හා සාධාරණ උපක්‍රමයක්ද?
විදේශ රටවලට තමන්ගේ රටේ ප්‍රශ්න තමන්ගේ දුක් ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් ප්‍රතිඵලයක් ලබාගන්න බැහැ. මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළ යුත්තේ විදේශයන් සමඟ නොවෙයි. රට ඇතුළතයි. රජය සමඟ බලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පමණයි ඇතිව ඇති තත්ත්වයට විසඳුම් සොයා ගැනීමට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතිව අමෙරිකාවේ බැරක් ඔබාමා මහතාට හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ බෑන් කී මූන් මහතාට පැමිණිලි කිරීමෙන් හෝ විසඳාගන්න බැහැ.

අපේ රටේ ව්‍යවස්ථාව තමයි අපට උත්තරීතර වන්නේ. අපේ ව්‍යවස්ථාවට පිටින් අපේ පරමාධිපත්‍යයට පිටින් කිසිදු බාහිර බලවේගයකට අත දමන්න බැහැ. අත දමනවා නම් ඒක ලොකු වරදක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ. රටේ නීතිය ව්‍යවස්ථාවට බලපෑම් කරන්නට එයට උඩින් ගමන් කිරීමට කිසිවකුට හැකියාවක් නැහැ. බැරක් ඔබාමා මහතා ජාත්‍යන්තරව කෙතරම් බලවත් චරිතයක් වුවත් ඔහුට මෙරට අධිකරණයට අධිකරණයේ තීන්දුවලට බලපෑමක් එල්ල කරන්න බැහැ එය තමයි යථාර්ථය. එක්සත් ජනපදයේ අධිකරණය මඟින් වරදකරුවකු කර ඇති පුද්ගලයකු නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරන්න හෝ බලපෑමක් කරන්න බැහැ අපේ රටේ ජනාධිපතිවරයාට. ඒ තත්ත්වයම තමයි ඒ මුලධර්මයම තමයි අමෙරිකානු ජනාධිපතිවරයාට බලපාන්නෙත්. කිසියම් පාර්ශ්වයක් මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹෙනවා නම් එය නුසුදුසු හා ප්‍රතිඵල විරහිත දෙයක් විදිහට සඳහන් කළ යුතුයි.

විපක්ෂය මඟින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය වෙත අත්සන් දස ලක්ෂයක පෙත්සමක් හිටපු හමුදාපතිවරයාගේ සිදුවීම් සම්බන්ධයෙන් යොමුකර තිබෙනවා. මෙම උපක්‍රමය සාර්ථක උත්සාහයක්ද?
මෙම උත්සාහයන් ප්‍රතිඵලදායක සාර්ථක උත්සාහයක් නොවෙයි. මෙතැන තිබෙන්නේ දේශපාලන උපක්‍රමික හා ප්‍රචාරාත්මක උපක්‍රමයක් විදිහට පමණයි. ලක්ෂ ගණනක පෙත්සමක් ගියත් එමඟින් කිසිදු බලපෑමක් මෙරට අධිකරණය ලබාදුන් තීන්දුවකට විරුද්ධව පෙත්සමක් මඟින් සිදුකළ හැකි දෙයක් නැහැ. මෙම පෙත්සම පිළිබඳ කාරණය සම්පූර්ණයෙන්ම දේශපාලන කාරණයක්. ඒ හැර මෙහි වෙනත් පදනමක් ඇතැයි මා සිතන්නේ නැහැ. මේ විදිහේ පෙත්සමක් සඳහා වෙහෙසවීමට වඩා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කිරීමෙන් ප්‍රතිඵලයක් ලබාගැනීමට පුළුවන්.

එහෙත් ඇතැම් පාර්ශ්වයන්ගේ මතය බවට පත්ව ඇත්තේ මෙවැනි විරෝධතා හා පෙත්සම් මඟින් රට තුළ ජනමතයක් ඇතිවන බවයි. ඒ ගැන ඔබේ අදහස මොන වගේද?
ජනමතයක් ගොඩනැඟීම සහ නීතිය අතර වෙනසක් තිබෙනවා. ඒ තත්ත්වය ගැන කල්පනා කළ යුත්තේ. මා කතා කරන්නේ දේශපාලනය ගැන නොවෙයි. නීතිය රටේ ව්‍යවස්ථාව හා නෛතික තත්ත්වය පිළිබඳවයි. ඒ පිළිබඳව ඇත්තේ එවැනි පසුබිමකුයි.

Related Posts Plugin for WordPress, Blogger...