දෙවන මනුෂ්‍ය ඝාතනයෙන් පසුව වත් චන්ද්‍රපුෂ්පට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද?

පසුගියදා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඊයේ පොලීසියට බාරවී තිබෙනවා.

ඊයේ තංගල්ල මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ පියාද හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකි.

මෙය ඔහුගේ පළමු ඝාතනය නොව දෙවන මනුෂ්‍ය ඝාතනය වෙනවා. පසුගිය වසරේ ජනවාරි 12 වෙනිදා හම්බන්තොට පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකට ගමන් කරමින් තිබූ බස් රථයකට වෙඩි තැබුවේද මෙම සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණයි.

එම ඝාතනය සඳහා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීර නැමැති තවත් නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෙකු බජාජ් වර්ගයේ මෝටර් සයිකලයකින් පැමිණ ඇති අතර එම මෝටර් සයිකලය පදවා ඇත්තේ සමීර නැමැත්තා විසිනි. වෙඩි තබා තිබුනේ ටී56 වර්ගයේ ගිනිඅවියකිනි. වෙඩි වැදීමට ලක්වූ 64 හැවිරිදි කුසුමාවතී කුරුප්පුආරච්චු නම් කාන්තාව මියගියේ මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

එම මරණයෙන් පසු චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විසින් එම කාන්තාවගේ පවුලට විශාල මුදලක් ලබාදී ඔවුන්ගේ ප්‍රකාශ තම වාසියට හරවාගෙන තිබුනා. ඝාතනයට ලක්වූ කාන්තාව ගමන් කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ රැලියකට වුවද එම කාන්තාවගේ 70 හැවිරිදි සැමියා ඉන්පසු පවසා තිබුනේ ඔහුගේ මුනුපුරෙකුට 2004 වසරේදී ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එබැවින් ඔවුන් වැඩ කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට බවත්ය.

ඉන්පසු හුන්ගම පට්ටියපොල ප්‍රදේශයේදී චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීර පොලිස් අත්අඩංගුවට පත්වූ අතර දේශපාලන හිතවත්කම් මත හා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මානසික ලෙඩෙක් බව උසාවියට කියාපා එම නඩුවෙන් පහසුවෙන් ගැලවීමට ඔහුට හැකි වුනා.

ඔහුට ඉන්පසු පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවට තරඟ කරන ලෙස ඉල්ලා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා විසිනි. පලාත් සභා මැතිවරණයේදී මුදල් හා මැර බලයෙන් සභාපති පුටුවට පත්වූ ඔහු විසින්ම ඉන්පසුව ඔහුගේ වාහනයකට පිස්තෝලයකින් වෙඩි තබාගන තිබෙනවා. ඒ තමාට ඇති තර්ජන ඇතැයි පවසා ආරක්ෂාව වැඩි කරගැනීම සඳහායි.

පසුගියදා සිදුවූ විදේශ සංචාරකයාගේ මරණය සිදුවී ඇත්තේ මොහු සමඟ සිටි මැර පිරිස විසින් විදේශිකයාට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතනය කර බෝතල් කටුවලින්ද කපා කොටා දැමීමෙනි. ඔහුගේ 24 හැවිරිදි බිරිඳද මේ වනවිට පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේය. ඒ මොවුන් විසින් එම කාන්තාවටද කපා කොටා තුවාල සිදුකර ඇති නිසාය.

නත්තල් සාදයේ බීමතින් සිටි චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු මෙම මැර පිරිස විසින් එම සාදයේ නර්තනයේ යෙදී සිටි තවත් එකක් ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහරදී තිබෙනවා. එයට එරෙහිව ඔහුව බේරාගැනීම සඳහායි මෙම විදේශිකයා ඉදිරිපත් වී තිබෙන්නේ. විදේශිකයා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති එම 24 හැවිරිදි කාන්තාවට ලිංගික අතවරයක්ද මෙම මැර පිරිස විසින් කර ඇති බව තවත් වාර්තාවකින් කියවුනා.

දේශපාලන බලපුළුවන්කාරකම් මත රටේ සිදුවන අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේද දේශපාලන උවමනා මත වන වත්මන් සමාජයේ විදේශ රටවල් හමුවේ ලංකාවේ නාමය කැත කළ මේ චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු මැර පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන හැටි අප බලාසිටිමු.

 
පහතින් දැක්වෙන්නේ මෙම ගැටුමට මුල්වූ රයන් අකලංක නම් පුද්ගලයා බි.බි.සි සිංහල සේවයට පල කල අදහසුයි.ඔහු වැරදීමකින් පුද්ගලයෙකුගේ ඇඟේ හැපීම නිසා මෙම ගැටුම ඇතිවූ බවත් එය වැළකීමට විදේශිකයා දුව ආ බවත් ඔහු පැහැදිලිකර සිටිනවා. 


සිදුවීම මුල සිට විස්තර කරන රයන්ගේ හඬ පටය පහතින් අහන්න 

Related Posts Plugin for WordPress, Blogger...