රුහුණු විශ්ව විද්‍යාලයේ පිහියක් පෙන්වා තර්ජනයකළ නවක සිසුවා

පසුගිය දින කීපය පුරාම රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් බරපතල අපහසුතාවයකට පත් වී සිටියේය. ඒ සරසවිය තුළදී හා ඉන් පිටත දී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ මැර ප‍්‍රහාර නිසාය. මේවා පසුපස සිටියේ අන් කිසිවකු නොව ආණ්ඩුවේ හෙංචයියන් ලෙස පසුගිය කාලයේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල් වියදම් කරමින් සරසවි තුළ ගැටුම් ඇති කිරීම සඳහා  පුහුණු කරන ලද (පසුගිය මාසයේ ඌව විශ්වවිද්‍යාලයේ තිබූ නායකත්ව පුහුණුව යැයි කියාගන්නා පුහුණුව) ඊනියා නිදහස්
ශිෂ්‍ය සංගමය යැයි කියාගන්නා සිසුන්ය.

මොවුන්ගේ එකම අරමුණ කෙසේ හෝ සරසවිය තුළ සිසු ගැටමක් ඇති කිරීමය. මේ සඳහා පසුගිය දිනක සරසවියට පැමිණි නවක සිසුවෙකු සරසවි ආපනශාලාව තුළදී සියලූ සිසුන්ට තර්ජනය කළේ ආචාර්යවරුන් පවා බලා සිටියදීය. නමුත් ගැටුමක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ සිසුන්ගේත්, ආචාර්යවරුන්ගේත් මැදිහත්වීමෙනි.

මෙහි මීළඟ අදියර වන්නේ එලියකන්ද මංසන්ධියේදී, එලියකන්ද නේවාසිකාගරය බලා යන විද්‍යාපීඨ සිසුන් ඉලක්ක කර ඔවුන් ගමන්කළ බසය තුළදී එල්ල කළ ප‍්‍රහාරයයි. මෙයට හේතුවූයේ ඔවුන් සිය ඊනියා, ආණ්ඩු ගැති, කුමන්ත‍්‍රණකාරී ශිෂ්‍ය සංගමයට එකතු වන ලෙස කරන ලද ඉල්ලීම විද්‍යාපීඨ සිසුන් පිළිනොගැනීමය.

මෙසේ විද්‍යාපීඨ සිසුන් යොදා ගැනීමට උත්සාහ කළේ අන්කිසිවක් සඳහා නොව ඔවුන් හා අනෙක් පීඨවල සිසුන් අතර ගැටුමක් ඇතිකොට, සරසවිය අඩපණ කොට වසාදැමීමට ආණ්ඩුවට ඇති වුවමනාව ඉටු කිරීමටය. කෙසේ නමුත් විද්‍යපීඨ සිසුන් මෙවර එම කුමන්ත‍්‍රණයට හසුකර ගන්නට නොහැකි වූ විට ඔවුන් ඊළඟට පැටලුනේ කළමනාකරණ හා මූල්‍යපීඨ සිසුන් සමගය. ඒ පසුගිය දිනක විභාගය අවසන් වී විභාග ශාලාවෙන් එලියට පැමිණි මුල්‍යපීඨ සිසුන් හා ගැටුමක්
ඇති කර ගනිමිනි. නමුත් එයද සරසවි ආචාර්යවරුන්ගේත්, අනෙකුත් සිසුන්ගේ මැදිහත්වීමෙනුත් සරසවිය අඩපන වන තරමේ තත්ත්වයකට නොගොස් සමහන් විය. 


නමුත් කුමන්ත‍්‍රණකරුවෝ උත්සාහය අත් නොහැරියේය. මොවුන්ගේ ඊළඟ උත්සාහය වූයේ සිසුන් හා ගම්වැසියන් අතර ගැටුමක් ඇති කිරීමය. මේ සඳහා පසුගිය දින කීපය පුරාම එලියකන්ද මංසන්ධියේත් විශ්වවිද්‍යාලය ඉදිරිපිටත් කඩුපොලූ රැගත් මැරයන් යොදවා විශ්වවිද්‍යාලයෙන් ඉවතට පැමිණෙන සිසුන්ට පහරදුන්නේය. 


මේ සමගම පසුගිය 9වන දින රුහුණ විශ්වවිද්‍යාලයේ ආපනශාලාව තුළට පැමිණි මෙම එක් කුමන්ත‍්‍රණකාරී සිසුවෙක් සිසුන් හා අචාර්යවරුන් ඉදිරිපිටම පිහියක් එළියට ඇද සරසවිය ලේ විලක් කරන බවටත්, තමා සරසවියට පැමිණියේ උපාධිය ලබා ගැනීමට නොවන බවටත් තර්ජනය කළේය. මේ අතර මෙම උක්ත ක‍්‍රියාමාර්ගයන්හි කූටප‍්‍රාප්තිය සිදුවන්නේ 13වන අඟහරුවාදා දින එලියකන්ද ප‍්‍රදේශයේදී මැද්දවත්ත නේවාසිකාගාරය දක්වා ගමන් ගන්නා සිසුන් ගමන් කළ බස්රථය එලියකන්ද මංසන්ධියේ දී නවතා මහජනතාව ඉදිරියේම එම සිසුන්ට පහරදීමයි. මෙම පහරදීමෙන් සිසුන් 7 දෙනෙකු මේ වන විට රෝහල්ගතකර ඇත.

මෙසේ ඉතා පැහැදිලි ලෙසම සිසුන්ට අඩත්තේට්ටම් සිදුවෙද්දීත් මේ සඳහා වහා මැදිහත්වන ලෙස සිසුන් අදාළ දින කීපය පුරාම බලධාරීන් දැනුවත් කර තිබියදීත් මැරයන්ගේ ක‍්‍රියාකාරීත්වය මර්දනයට ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට, මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ මැරයන්ට ආරක්ෂාව සැපයීමත්, ඔවුන්ට රිසිසේ සරසවිය තුළත් මහමගත් යකානැටීමට ඉඩ දී අහිංසක සිසුන් බන්ධනාගාරගත කිරීමට යත්න දැරීමත්ය. ඒ නිසා අද රුහුණ සරසවියේ සිසුන් බරපතල ජීවිත අවධානමකට පත්ව ඇත.

-සංජිව බණ්ඩාර (අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු )

  
තර්ජනයකළ සිසුවාගේ වීඩියෝව පහතින් 


Related Posts Plugin for WordPress, Blogger...